වියට්නාමයේ හැනෝයි හී Bai Dinh  විහාරස්ථානයේ රෝපණය කරන ලද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරය වටා ඉදිකිරීමට අපේක්ෂිත බෝධි ප්‍රාකාරය තැනීමට අවශ්‍ය  මුල්ගල සහ එම සැලසුම  ශ්‍රී ලංකා වියට්නාම් තානාපතිනි H.E. Ho Thi Thanh Truc මහත්මිය වෙත භාරදීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්  ශ්‍රී ලංකා වියට්නාම් තානාපති කාර්යාලයේ දී පසුගියදා(22) සිදු කෙරිණි.

එම බෝධි අංකුරය වටා ඉදිකිරීමට අපේක්ෂිත බැමි හා පිවිසුම් සඳහා ශ්‍රී ලංකාවේ කලා සම්ප්‍රදායන් අනුව සකසන ලද මුරගල්, කොරවක්ගල්, පඩි කඳන්, රන් වැට සහ වෙනත් අලංකාරයන් සහිතව මෙම බෝධි ප්‍රාකාරය ඉදිකිරීමට ශ්‍රීලංකාවට ආරාධනා ලැබී ඇති අතර ඒ අනුව එහි පළමු අදියර ලෙස මුල්ගල වියට්නාම් තානාපතිනි H.E. Ho Thi Thanh Truc මහත්මිය වෙත භාර දුන්නේය.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ආගමික හා සංස්කෘතික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණෙහි එක් වැඩසටහනක් ලෙස මෙය සිදු කෙරිණි.

මෙම නිර්මාණය සඳහා සම්පූර්ණ උපදේශකත්වය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ලබාදීමට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා  වියට්නාම් තානාපති කාර්යාලයේ උපදේශක Le Van Huong, ශ්‍රී ලංකා වියට්නාම් තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් Nguyen Thi Toan, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම් කේ.ඒ. ඩී.ආර්. නිශාන්ති ජයසිංහ, මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය  ගාමිණී රණසිංහ, නිර්මාණ ශිල්පී ගාමිණී ජයසිංහ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.