මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය මූලික කරගනිමින් පැවැත්වීමට තීරණය කර ඇති අතර ඒ පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ විහාර පාර, ශ්‍රී ධර්මරාජ විහාරස්ථානයේ දී පසුගියදා (07) පැවැත්විණි.

'අත්තනො ච අචෙක්ඛෙය්‍ය කතානිඅඛතානි ච'  - 'අනුන් කළ දේ ගැන නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු' යන තේමාවෙන් යුතුව මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන අතර එහි සමාරම්භක උලෙළ මාතලේ විහාර පාර, ශ්‍රී ධර්මරාජ මහ පිරිවෙන් පරිශ්‍රයේ දී සහ සමාප්ති උලෙළ පල්ලේපොල මිල්ලවාන ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ දී පැවැත්වීමට තිරණය කර තිබේ.

ඒ අනුව මැයි මස 21 සිට 27 දින දක්වා විවිධ ආගමික සංස්කෘතික වැඩසටහන් පැවැත්වෙන අතර, මැයි 21 වන දින රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව  සංස්කෘතික වැඩසටහන්, මැයි 22 වන දින පරිසර සංරක්ෂණ හා යහපත් සෞඛ්‍ය පුරුදු වැඩසටහන්, මැයි 23 වන දින සීල භාවනා පින්කම ( වෙසක් පොහෝ දින වැඩසටහන) ,මැයි 24 වන දින සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන්, මැයි 25 වන දින සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා සම්බුද්ධ දේශනා අනුව පවත්වන වැඩසටහන්, මැයි 26 වන දින අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන්, මැයි 27 වන දින භික්ෂු හා සිල් මාතා පුහුණු වැඩසටහන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

එසේම මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 හි විහාරස්ථාන 11ක් සංවර්ධනය කිරීම, වෙසක් බැති ගී, පහන් කූඩු ,වෙසක් තොරණ, පාරිසරික හා සංස්කෘතික අංගයන් හා පිණ්ඩපාත වැඩසටහන්, ලේ දන්දීමේ වැඩසටහන් ආදී විශේෂ වැඩසටහන්, සර්ව ආගමික අංග ඇතුළත් පෙරහරක් ද   පැවැත්වේ.

මෙම අවස්ථාවට සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී මුගුණුවෙල අනුරුද්ධ, මාතලේ දිසා ශාසනාරක්ෂක බල මණඩලයේ සභාපති කොස්ගොල්ලේ සීලරතන යන නාහිමිවරු ඇතුළු මහා සංඝරත්නය, මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොට්ටෙගොඩ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ,  මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී. රත්නායක, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මාතලේ දිසාපති තේජානි තිලකරත්න යන මහත්ම මහත්මීහු, ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීහු, රාජ්‍ය හා පෞද්ගලික අංශ නිලධාරීහු  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.