ඔබ මෙතනයි:  මුල් පිටුව ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් දකුණ සංරක්ෂණයෙන් පසු කොළඹ ජාතික කෞතුකාගාරය මහජනයා සඳහා යළි විවෘත කෙරේ.

සංරක්ෂණයෙන් පසු කොළඹ ජාතික කෞතුකාගාරය මහජනයා සඳහා යළි විවෘත කෙරේ.

 

රුපියල් මිලියන 200ක වියදමින් සංරක්ෂණය කරන ලද කොළඹ ජාතික කෞතුකාගාරය පූර්ණ වශයෙන් යළි මහජනතාව සඳහා විවෘත කිරීම අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු එස්. බී. නාවින්න මැතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් හා අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මැතිතුමාගේ සහභාගිත්වයෙන්  පසුගියදා සිදු විය.

 

1877 ජනවාරි 01 දින ප්‍ර‍ථම වතාවට මහජතාව වෙත විවෘත කරන ලද කොළඹ ජාතික කෞතුකාගාරයේ එදා - මෙදා තුර සිදු කරන ලද විශාලතම සංරක්ෂණ ව්‍යාපෘතිය ලෙස මෙය සැලකේ. ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ උපදේශකත්වයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාවේ 6 වන ඉංජිනේරු සේවා බලකාය විසින් මෙම සංරක්ෂණ කටයුතු සිදු කරන ලදී.  ඒ අනුව, අද සිට කොළඹ ජාතික කෞතුකාගාරයේ සියලුම මැදිරි නැරඹීමට මහජනතාවට අවකාශ සැලසේ.

 

ස්මාර්ට් ජංගම දුරකතන භාවිතයෙන් ජාතික කෞතුකාගාර තොරතුරු පිරික්සිය හැකි ශ්‍රී ලංකා මියුසියම් ජංගම දුරකතන මෘදුකාංගය හඳුන්වා දීම ද මෙයට සමගාමීව සිදු විය.

 

මෙම අවස්ථාවට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ද, අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී. ස්වර්ණපාල, යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ඒ.ඩබ්ලිව්.ජේ.සී. ද සිල්වා, ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ සනුජා කස්තුරිආරච්චි, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනූෂා ගෝකුළ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

 

© 2017 අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි. නිර්මාණය: Pooranee Inspirations (Pvt) Ltd.